කොරියාවේ ජොසොන් රාජවංශය - 조선시대
දේශපාලන ඉතිහාසය
සංස්කරණය
1392දී, පසුකලෙක තේජෝ යනුවෙන් හැඳින්වුණු යි සොං-ග්යේ සෙන්පතියා විසින් ජොසොන් රාජවංශය (1392–1897) පිහිටුවන ලදී. එය පැරණි රාජධානියක් වූ ගෝජොසොන් සඳහා ගෞරවයක් ලෙස නම්කෙරිණි. මෙය කොන්ෆියුසියානුවාදය පදනම් කරගත් චින්තනය ආශ්‍රයෙන් ගොඩනැගුණි.ජොසොන් රාජවංශය පුරා පැතිර තිබූ දර්ශනය නව කොන්ෆියුසියානුවාදය නම් වූ අතර, එය ධනවත්, සහ බලවත් තනතුරු හෙබ වූ විද්වතුන් වූ සොන්බි පාන්තිකයන් සඳහා එය පරමාදර්ශය විය.
තේජෝ විසින් අගනුවර හන්යං (වර්තමාන සෝල්) වෙත ගෙනගිය අතර ග්යොංබොක්ගුං මාලිගය ඉදිකරන ලදී. 1394දී ඔහු විසින් නව කොන්ෆියුසියානුවාදය රටේ නිල ආගම ලෙස ප්‍රකාශ කරන ලදී. එසේම ශක්තිමත් වංශවතුන්ගෙන් සැදුම්ලත් රාජ්‍යයක් බිහිකරන ලදී. ඔහුගේ පුත්‍රයා සහ මුණුපුරා වූ, තේජොං රජු සහ මහා සේජොං රජු යන රජවරු, රාජවංශයේ මුල්කාලයේ නොයෙකුත් පරිපාලන, සමාජයීය, සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර රාජකීය අධිකාරය ස්ථාපනය කරන ලදී.15වන සහ 16වන සියවස්වල, සහ විද්‍යාව දියුණු කරන ලදී. ඒ අතරින් වඩාත් වැදගත් පාලකයකු වූ මහා සේජොං රජු (රාජ්‍ය සමය.1418–50), විසින් කොරියානු මර්ණමාලාව වූ හංගුල් ප්‍රකාශයට පත්කළේ ය. මෙම ස්වර්ණමය යුගය තුළ සංස්කෘතික, සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හි වැදගත් සංවර්ධනයන් සිදු විය. එහි දී මුද්‍රණය, කාලගුණ විද්‍යාත්මක නිරීක්ෂණ, තාරකා විද්‍යාව, දින දර්ශන විද්‍යාව, සිරිමැටි කලාව, යුධ තාක්ෂණය, භූගෝල විද්‍යාව, සිතියම් විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ කෘෂිකර්ම විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි අසමසම නිර්මාණ බිහි විය.
මාලිගයේ අභ්‍යන්තර අරගල, ජනතා අසහනය සහ වෙනත් දේශපාලන අරගල නිසා රාජ්‍යය ව්‍යාකූලත්වයට පත් වූ අතර 1592 සහ 1598 වර්ෂවල සිදු වූ ජපන් ආක්‍රමණ මෙම තත්ත්වය තීවුකළේ ය. ටොයොටොමි හිදෙයොෂි සිය හමුදා මෙහෙයවමින් කොරියාව ඇතුළු ආසියානු මහාද්වීපය ආක්‍රමණයට උත්සාහ දැරූ නමුත්, මිං චීනයේ ආධාර ලබා කොරියානු හමුදා ඔවුන්ව පරාජයට පත් කළහ. මෙම යුද්ධයේ දී, නාවික සෙන්පති යි සුන්-සින්ගේ නැගී ඒම සහ කැස්බෑ නැව්වල දායකත්වය කැපීපෙනිණි.
යුද්ධයෙන් පසු කොරියාව නැවත යථා තත්ත්වයට පත්වීමට උත්සාහ දරන විට 1627දී සහ 1636දී මැංචු ආක්‍රමණ එල්ල විය. එකිනෙකට වෙනස් විදේශ ප්‍රතිපත්තීන් නිසා රාජසභාව බෙදීමට ලක් වූ අතර සිහසුනට උරුමකරු නම්කිරීම ද බොහෝ දේශපාලන අරගලවලින් පසුව සිදු විය.
18වන සියවසේ යොංජෝ සහ ජොංජෝ යන රජවරුන්ගේ සමය සාමාකාමී යුගයක් වූ අතර ඔවුහු ජොසොන් රාජවංශයේ පුනරුදයක් ඇතිකරමින් ඉහළ නිලතල දැරූ කොන්ෆියුසියානු විද්වතුන්ගේ බලතල ලිහිල් කිරීමට දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළහ.
කෙසේනමුත්, රජයේ දූෂණ සහ සමාජයීය අසහනය ඉන්පසු වර්ෂවල රජයන්නට විය. මෙය නොයෙකුත් සිවිල් පිබිදීම් සහ කැරැලි සඳහා හේතු විය. 19වන සියවසේ අගභාගයේ රජය විසින් විවිධ ප්‍රතිසංස්කරණ ඉවත් කරන ලදී. නමුත් දැඩි හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. මෙය කොරියාව සඳහා "තවුස් රාජධානිය" යන අන්වර්ථ නාමය පටබැඳීමට හේතු විය. මෙම ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන්ම බටහිර අධිරාජ්‍යවාදයෙන් බේරීම සඳහා වුවත්, මෙය දිගු ජොසොන් රාජවංශය විවෘත වෙළඳාම සඳහා විවෘත වීමට පෙර ජපන් පාලන යුගයක් සඳහා හේතු විය.
සංස්කෘතිය සහ සමාජය
කොරියාවේ සංස්කෘතිය නව-කොන්ෆියුසියානුවාදී දර්ශනය මත පදනම් වූ, සදාචාරය, ධාර්මිකතාව, සහ ප්‍රායෝගික සදාචාර ප්‍රතිපත්ති අනුව හැඩගැසුණකි. විද්වත් අධ්‍යාපනය කෙරෙහි පැවති පුළුල් ප්‍රතිචාර නිසා පෞද්ගලික ශාස්ත්‍රාල සහ අධ්‍යාපන ආයතන බිහි විය. ඉතිහාසය, භූගෝල විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සහ කොන්ෆියුසියානු මූලධර්ම පිළිබඳ නොයෙකුත් ග්‍රන්ථ ලියැවිණි. සිතුවම් ශිල්පය, විචිත්‍ර අක්ෂර කලාව, සංගීතය, නර්තනය, සහ සිරිමැටි කලාව වැනි කලාවන් දියුණු විය.මෙම යුගයේ සිදු වූ වඩාත් වැදගත්ම සංස්කෘතික සිදුවීම ලෙස 1446දී මහා සේජොං රජු විසින් කොරියානු වර්ණමාලාව වූ හුන්මින් ජොංගොම් (පසුකලෙක හංගුල් ලෙස හඳුන්වන ලදී) ප්‍රකාශයට පත්කිරීම දැක්විය හැක. මෙම යුගය තුළ වෙනත් විවිධ සංස්කෘතික, විද්‍යාත්මක, සහ තාක්ෂණික සංවර්ධනයන් ද සිදු විය.
ජොසොන් රාජවංශ සමයේ, පැවති සමාජ ධූරාවලිය කොරියාවේ සමාජ සංවර්ධනයට හේතු විය. එම ධූරාවලිය තුළ රජු සහ රාජකීය පවුල මුලසුන හෙබවූහ. එහි ඊළඟට සිවිල් හෝ යුධ නිලධාරී කණ්ඩායම් සහ කුලී ගොවීන්ගේ හා වහලුන්ගේ සේවය ලබා ගෙන රජය වෙනුවෙන් සේවය කළ යැංබැන් නැමැති ඉඩම් හිමියන් ද වූහ.
මධ්‍යම පාන්තිකයන් වූ ජුංගින් ජනයා, ලිපිකරුවන්, වෛද්‍ය නිලධාරීන්, විද්‍යාවට අදාළ ක්ෂේත්‍රයේ කාර්මිකයන්, සිත්තරුන් සහ සංගීතඥයන් වැනි විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් වූහ. ගොවීන් වැනි සාමාන්‍ය ජනයා කොරියාවේ වැඩිම පිරිසක් සිටි පන්තිය ලෙස සැලකෙයි. ඔවුනට බදු ගෙවීම, ශ්‍රමය සැපයීම, සහ යුධහමුදාවේ සේවය කිරීම වැනි වගකීම් පැවතිණි. රජයට බදු ගෙවීමෙන් පසු, ඔවුනට බිම් අස්වැද්දීමට සහ වගාකිරීමට අවසර හිමි විය. සමාජයේ පහළම පන්තියට කුලී ගොවීන්, වහලුන්, විනෝදය ගෙනදෙන්නන්, කම්කරුවන්, කාර්මිකයන්, වෛශ්‍යාවන්, යකැදුරුවරුන්, රස්තියාදුකාරයන්, වසලයන්, සහ අපරාධකරුවන් අයත් වූහ. වහල් තත්ත්වය ප්‍රවේණික උරුමයක් වුව ද, ඔවුන්ව නිල වශයෙන් ප්‍රකාශිත මිල ගණන් අනුව විකිණීමට හෝ නිදහස් කිරීමට හැකි විය. නමුත් ඔවුනට අයහපත් ලෙස සැලකීම තහනම් විය.
0 Comments